“හලෝ මේ.... අපිටත් මෙයා ටිකක් දෙනවද..? ඔයාලා විතරක්ම හරි නෑනෙ. අපිටත් තියෙනවා මෙයාගෙන් වැඩක් කරගන්න. උඹත් ලංකාවෙ අපිත් ලංකාවෙ.... උඹට ලැබෙන දේ අපිට නොලැබෙන්න බෑනේ... කෝ... දෙනවකෝ... දෙනවකෝ... අපිට ටිකක් ශෙයාර් කර ගන්න බැරිත් නෑනේ....”
ගාලුමුවදොර පිටියේදී සිය රුසියානු ජාතික පෙම්වතියට අතවර කිරීමට උත්සාහ කළ මෙරට තරුණයන් පිරිසකගේ අශෝභන හැසිරීම හා කතා විලාශය මේ ආකාරයේ බව එම තරුණියගේ පෙම්වතා වූ කසුන් කියා සිටියේය.
සල්ලාලයන් පිරිසක් එක්ව සිය දෑස මානයේදීම තම ආදරවන්‍තියට අතවර කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ඔහු අදහස් ප්‍රකාශ කළේ එකී අය පිළිබඳව දැඩි අප්‍රසාදයෙනි.
මේ සිදුවීමට අදාළ දර්ශනය ඇතුළත් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ මුහුණුපොත තුළ සංසරණය වෙමින් තිබිණ. ඒ පසුගිය 5 වැනි ඉරිදා සන්ධ්‍යාවේ වෙලාවකි. අතවරයට මුහුණ පෑ රුසියානු ජාතික තරුණිය නමින් “ඇනස්ටාසියා එප්‍රිල්”ය. රුසියාවේ සිට කිහිප වතාවක්ම ලංකාවේ සංචාරයට පැමිණි ඇය අවසන් වරට මෙහි පැමිණියේ මීට මාස හයකට පමණ ඉහතදීය. ගුවන් තොටුපොළ වසා තැබීම නිසා ඇයගේ ගමන යළි ප්‍රමාද කෙරුණද, ශ්‍රී ලාංකීය පෙම්වතා වූ කසුන් සමඟ ඇය මෙරට වාසය කළාය. වෘත්තීයමය නර්තන ශිල්පීන් වන මොවුන් දෙදෙනා එක්ව මෙරට නගර තුනක නර්තන පාසල් පවත්වමින් අන්තර්ජාතික නර්තන ප්‍රසංග සඳහා සහභාගි වෙමින් විදේශීය වශයෙන් ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියහ.
එසේ සිටියදී පසුගියදා ගෝල්ෆේස් පිටිය අසල පිහිටි “කිංග් ඔෆ්ද මම්බො” සමාජ ශාලාවෙන් ඇරැයුමක් ලැබී ඇත්තේ නර්තනයකට දායක වන ලෙස ඉල්ලමිනි. කොරෝනා වසංගතය නිසා තවමත් වැඩි සෙනගක් සමාජ ශාලාවේ නොසිටි බැවින් කසුන් සිය පෙම්වතිය හා තවත් මිතුරකු හා මිතුරියක සමඟ ගෝල්ෆේස් පිටියට පැමිණ තිබුණේ යළිත් එහි යන අදහසිනි.
ටාජ් සමුද්‍ර හෝටලය ඉදිරිපිට පාරේ නවතා තිබූ අයිස්ක්‍රීම් ලොරියකින් මිලට ගත් අයිස්ක්‍රීම් රසවිඳින අතරතුර මෙම යුවළ, මිතුරන් දෙදෙනා සමඟ ගෝල්ෆේස් පිටිය මැදට ගමන් කරන්නට සැරසුණහ. එවිට වේලාව රාත්‍රී 10:30 පසුවෙමින් තිබෙන්නට ඇත. ඒ සඳහා මාර්ගයෙන් පහළට පඩිපෙළ බසිනවාත් සමඟම ඔවුන් පසුපස ආ තරුණයන් පිරිසකි. උසුළු විසුළු කරමින් ආ පිරිසේ තරුණයකු මෙසේ පවසා තිබේ.
“හලෝ මේ.... අපිටත් මෙයා ටිකක් දෙනවද..? ඔයාලා විතරක්ම හරි නෑනෙ. අපිටත් තියෙනවා මෙයාගෙන් වැඩක් කර ගන්න. උඹත් ලංකාවෙ අපිත් ලංකාවෙ.... උඹට ලැබෙන දේ අපිට නොලැබෙන්න බෑනේ... කෝ... දෙනවකෝ... දෙනවකෝ... අපිට ටිකක් ශෙයාර් කර ගන්න බැරිත් නෑනේ....” යැයි කියන අතරතුර රුසියන් තරුණියගේ තට්ටම අල්ලා තිබුණේ අතවරයක් සිදුකිරීමට පෙළඹෙමිනි.
එම ප්‍රකාශයත් සමඟ එම ක්‍රියාව සිදුකළ මොවුන් පිළිබඳ කෝපයට පත් රුසියන් තරුණියගේ පෙම්වතා වූ කසුන් පිරිස හමුවේ “මල්ලි දැන් ඇති....”” කීවා පමණය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ තරුණ පිරිස කසුන්ගේ හිස, කොන්ද, පිට ආදී ස්ථානවලට පහර පිට පහර එල්ල කරන්නට වූහ. පෙම්වතියට මිතුරන් හා එක්ව කෑගසනවා හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. පහරදීම නවත්වන පාටක් නොවූයෙන් සිදුවීම තමා අතවූ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්නට ඇය සැරසුණාය. ඉදිරියට පැමිණි එක් තරුණයකු ඇනස්ටාසියාගෙ අතට පා පහරක් එල්ල කළේ ජංගම දුරකතනය ද බිම දමමිනි. කෙසේ හෝ යළිත් දුරකතනය අහුලාගත් ඇනස්ටාසියා නැවත වීඩියෝ කරන්නට වූවාය. එවිට තරුණ පිරිස පසුබැස ගොස් තිබුණේ “වීඩියෝ කරනවා වීඩියෝ කරනවා යමං යමල්ලා...” කියමිනි.
තරුණයන් පිරිස මෙම යුවළ හා ගැටුමක් ඇති කරගෙන එම තරුණියට අතවර කරන්නට උත්සාහ කළ ද ගෝල්ෆේස් පිටියේ රැඳී සිටි කිසිවකු මොවුන්ගේ සහායට පැමිණ නැත. එහෙත් ඇතැමුන් සිදුකර තිබුණේ පහරදීම වීඩියෝ ගතකර ගැනීම පමණි. මේ අතර ඇනස්ටාසියා හා පෙම්වතා පොලිස් හදිසි ඇමතුම් අංකය 119 අමතා සිදුවීම පැමිණිලි කළහ. ඒ මොහොතේත් තරුණ ගැටවුන් එම පරිශ්‍රයේ රැඳී සිටියද, මිනිත්තු කිහිපයකින් පොලීසිය එන විට ඔවුන් පෙනෙන්නට සිටියේ නැත. ඉන් පසුව පොලිස් නිලධාරීන් පවසා තිබුණේ සිදුවීම ගැන කොටුව පොලීසියට පැමිණිලි කරන ලෙසය. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවක් පෙනෙන්නට තිබි නැත. මෙවැනි සිදුවීම් ගෝල්ෆේස් පිටියේ සිදුවන බව පෙන්වීමට ඔවුන් සතු වීඩියෝ පටය ඇනස්ටාසියා එප්‍රිල් විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළේ ඉන් පසුවය.
පැය කිහිපයක් ගතවෙද්දී ඇනස්ටාසියාගේ පෙම්වතා වූ කසුන්ට ආ දුරකතන ඇමැතුමකි. ඔහුට අමතා තිබුණේ උසස් පොලිස් නිලධාරියෙකි. “ඊයේ වීඩියෝ එක ගොඩක් ශෙයාර් වෙනවා. මීඩියාවලිනුත් අරන් නිවුස් දාලා තියෙනවා. මේක ජනාධිපතිවරයාත් බලලා තියෙනවා. ඒක රටට හොඳ මදි. ඒ නිසා වීඩියෝ එක අයින් කරන්න පුළුවන්ද?” යැයි විමසා ඇත. එවිට කසුන් කියා තිබුණේ “ඒක අයින් කරන්නම්... හැබැයි අපිට සාධාරණයක් වෙන්න ඕනෙ. මේක කරපු අය කවුද කියලා අඳුරගන්න ඕනෙ..” යනුවෙනි. එහිදී පොලීසිය පාර්ශ්වයෙන් ඊට ඉල්ලා තිබුණේ තව මිනිත්තු 15ක් පමණය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් සංචාරක අංශයේ නිලධාරීහු ඒ බව කසුන්ට හා ඇනස්ටාසියාට දන්වා සිටියහ. එසැණින් මුහුණු පොතේ දැමූ වීඩියෝව ඉවත් කරන්නටත් එහි පොලීසියට ස්තූතිය පළ කරමින් සටහනක තබන්නටත් ඇනස්ටාසියා අමතක නොකළාය.
මේ අතර අත්අඩංගුවට ගත් තරුණ පිරිස කොළඹ යූනියන් පෙදෙසේ පදිංචිකරුවන් බවටත් හඳුනා ගැනිණ. ලංකාවේ සංචාරක කර්මාන්තය අන්තයටම වැටී තිබෙන මෙවැනි මොහොතක මෙකී සිදුවීම එම කර්මාන්තයටත් රටටත් කළු පැල්ලමකි. පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. ඔවුන්ට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව පිරිස හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමන්ත ප්‍රදීප් විල්තෙර